ගෙදර පෙරළි
“මහින්දගෙන් ප්‍රශ්න අහන්න මට අයිතියක් නෑ… අඩු ගානේ අරක්කු ටිකක් වත් නොබී!”
මහින්ද හිනාවුනා. කඩවසම් පෙනුමක් ඇති මහින්දගෙ හිනාව මල්ලිගෙ හිනාව වගේ කියලා මට හිතුනා. නංගිගෙ හිත මිනිහා වෙත යෑම පුදුමයක් නොවේයයි මට හිතුනා.
මහින්ද අපි දෙන්නට තෝරාගෙන තිබුන උඩතට්ටුවේ මේසයට පහලින් ඇති වීදිය හොඳින් පෙනුනා. විදුලි එලියෙන බැබලෙන ආපනශාලාවේ ඇතුලේ සිටි අපි අඳුර වැටීගෙන එන වීදිය දිහා බැලුවේ මාළු ටැන්කියක ජීවත්වෙන්නෝ වගේ. වීදියේ ඉන්න අය අපි කොයි විදිහට දැක්කද කියලා මට කුතුහලයක් ඇතිවුනා.
“ප්‍රශ්න ඇහුවට කමක් නෑ… අරක්කු බිව්වටත් කමක් නෑ. උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න වලට උත්තර දෙන්නම්… ඕන නම් අරක්කු බොමු බීර ඉවරවුනහම…”
ඒ සැරේ මටත් හිනා ගියා.
“මේකයි වැඩේ මහින්ද… මම කවදාවත් මේ වගේ මීටිමකට සහභාගි වෙලා නෑ. සමහරවිට ඔයත් එහෙම වෙන්න ඇති. මේක දෙන්නටම අලුත් ටෙරිටරි. ඒ නිසා ප්‍රශ්න අහන්න ඉස්සර මං අපි ගැන යමක් කියන්නම්… සමහරවිට මේවා නංගිගෙන් ඇහිලා ඇති - නමුත් මගේ හිතට හොඳයි මම මගෙ පැත්ත කිව්වොත්…”
මම පවුලෙ කතාව කිව්වේ අප්පච්චී නැතිවුන දවස් වලින් පටන්ගෙන. අම්මා අපිට උගන්වන්න බොහෝම මහන්සිවුන හැටිත්, මගේ ඉගෙනීමට ඉඩමක් පවා විකිනීමත් මම විස්තර කරේ කෙටිකතාවක් වගේ. නංගිත් මල්ලිත් රැකියා පටන්ගත්තම පවුලේ අනාගතය දරුවෝ තුන්දෙනාට හිමි වෙන්නේ දැන් වත් අම්මාට සහනයක් ලබා දීම වැදගත් නිසා. නංගී බඳින කෙනෙක් පවුලට සම්බන්ධ වෙන්න ඉස්සර මේ සේරම දැනගෙන ඉඳීම අවශ්‍ය බවත් මම කිව්වේ අනතුරු හැඟවීමක් වගේ.
“මහින්ද අපි සල්ලිකාරයෝ නෙවෙයි. නමුත් අම්මගෙ ජීවිතේ ටිකක්වත් පහසු කරන්න අපි තුන්දෙනාම අධිෂ්ඨාන කරගෙන ඉන්නේ. ඒක මහින්දටත් අදාලයි…”
මහින්ද ආයෙත් හිනාවුනා.
“ලලිත්ගෙ වචන කුමාරිගෙ වචන වගේමයි! මේ හුඟක් මට අලුත් නෑ. කුමාරී හම්බවෙලා අවුරුදු තුනක් ගියහම පවුල ගැන යමක් දැන ගැනීම පුදුම වෙන්න දෙයක් නෙවෙයි… නමුත් මට තේරෙන විදිහට ලලිත් මා ගැන දන්නෙ නෑ…”
බීර උගුරක්.
“මගෙ අම්ම තාත්ත දෙන්නම විශ්‍රාමික ගුරුවරු. විශ්‍රාමෙන් පස්සේ පදිංචිය පානදුරේ. ලංකාවේ හුඟාක් පලාත්වල වැඩ කරලා තියෙනවා. අම්මයි තාත්තයි ඉබ්බාගමුවේ වැඩ කරන දවස්වල මම ඉස්කෝලේ ගියේ කුරුණෑගල - මට හොඳටම අල්ලලා ගිය පලාතක්. ඒකයි මම කුරුණෑගලට මාරුවක් ඉල්ලාගෙන ආවේ, දැන් අවුරුදු හයකට විතර ඉස්සර. මම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩ කරාට ගුරුවරයෙක් නෙවෙයි. ආට්ස් ඩිග්රියක් කරලා බැඳුනේ ලිපිකාර සේවයට - දැන් සීනියර් ක්ලාක් ලෙවල් හිටියට මගෙ අදහස සී ඒ එස් කරලා ඇඩ්මිනිස්ට්‍රේශන් පැත්තට යන්න… සොරි ලලිත් - ඒ අන්තිම ටික අමතක කරලා දැම්මොත් හොඳයි - ඒක හරියට මා ගැන ඇඩ්වටීස්මන්ට් එකක් වගේ කියවුනේ… මං කියන්න හිටියේ මේකයි - හැමදාම දෙපාර්තමේන්තුවේ ක්ලාක් කෙනෙක් වෙලා ඉන්න මගෙ අදහසක් නෑ…”
ඒ සැරේ දෙන්නම සද්ද නැතුව බීර බිව්වා. මේ කතාව දෙන්නටම නුහුරුයි. එ නිසා මම කතාව වෙන පැත්තකට හැරෙව්වා.
“මහින්ද අද රෑම කුරුණෑගල යනවද?”
මිනිහට තේරුනා මම කතාව ඉඩකඩ තියෙන පහසු මාර්ගයකට හැරෙව්වා කියලා.
“නෑ… මහයියාවේ යාළුවෙක්ගෙ ගෙදර අද රෑ ඉන්නේ - පරණ බැචෙක්”
“එහෙනං අරක්කු වීදුරුවකුත් බිව්වට කමක් නෑ!
මම වේටර්ට කතා කරා අපිට බීමයි හපන්න මොනවකුයි ගේන්න. අපේ කතාව සාමාන්‍ය මාතෘකා වලට හැරුනා - ක්‍රිකට් (මහින්ද කැමති නැතිම ක්‍රීඩාවක්), ආර්ථික ප්‍රශ්න, දේශ්පාලනය (අපි දෙන්නම අකමැති මාතෘකාවක්), මැද පෙරදිග රැකියා…
හත හමාරට මහින්ද කිව්වා දැන් යන්න හොඳ වෙලාව කියලා.
“මම ප්රේමතිලකයට, මගෙ මහයියාවේ යාළුවට, කියලා ආවේ අටට ඉස්සර එනවා කියලා”
“රයිට්… කොහොමද යන්නේ - මට නම් පයින් යන දුර”
“මාත් පයින් තමා - විනාඩි පහලවක් යයි ඕන නම්”
අපි වෙන්වී ගියේ පරණ යාළුවෝ දෙන්නෙක් වගේ. මම මහින්දගෙ ඔෆිස් ටෙලිෆෝන් නොම්බරෙත් ඉල්ලා ගත්තා, පස්සේ කතා කරන්න. මට පෙර නොවිඳපු සතුටක් දැනුනා නංගියි මහින්දයි ගැන.
…………………..
මගෙ නවාතැනේ ලයිට් පත්තුවෙනවා දැක්කේ ඒ කිට්ටුවටම ආවට පස්සේ - මින් පස්සේ කොහෙවත් යන්න ඉස්සර ලයිට් නිවලා යන්න මම අධිෂ්ඨාන කරගත්තා.
නවාතැන ඇතුලට ආවහමයි මම දැක්කේ මල්ලී කිසි ගානක් නැතුව මේසේ ලඟ වාඩිවෙලා කෑම පැකට් එකක් දිගහැරගෙන කනවා!
“චුට්ටී කොහොමද ඇතුලට ආවේ?”
“ඔෆිස් එකේ අයට පොතක් පෙරලුවා… අයියගෙන් හදිසි පනිවිඩයක් ලැබිලා ආවේ කියලා… ස්මපූර්ණෙන්ම බොරුත් නෙවෙයි - අද අම්මා කෝල් කරා”
“හෙට ගෙදර එන්න කියලා?”
“ඔවු… මට හොඳටම ශුවර් අපෙ අලුත් මස්සිනා ගැන කතා කරන්ට!”
“මං මේ එයත් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දාලා මේ එන්නේ… මහින්ද… හොඳ පොරක් වගේ”
“මම දන්නෙම නෑ පොර ගැන - අක්කා එහෙම වචනයක් වත් කියලා නෑ. අම්මත් දන්නෙ නැතිලු”
“ඒක තමා අම්මා කිව්වේ… හැබැයි ටයිමිං හොඳයි නේද? නංගිට පත්වීමක් ජනවාරි වලට… කුරුණෑගලට හදාගත්තොත් කසාදෙත් වැඩි පරක්කුවක් නැතිවෙයි…”
මල්ලී කිසි දෙයක් කිව්වෙ නෑ. මගෙ සන්තෝසේ හවුලේ බුක්ති විඳින්න එක පයින් ඉදිරිපත්වුනේ නැත්තේ ඇයි කියලා මට ප්‍රශ්නයක්.
“මොකද චුට්ටී? ඒ වැඩ පිළිවෙලේ මා නොදැකපු ලොකු වැරැද්දක්ද?”
“නෑ අයියා… අක්කයි මහින්ද පොරයි ගැන නෙවෙයි… මං හිතුවේ අම්මා ගැන…”
“ඒක ඇත්ත… හැබැයි ඒ ප්‍රශ්නේ වෙනම හිතලා බලන්න ඕන එකක් නේද? නංගිගෙයි මහින්දගෙයි අනාගතේ තීරණය කරන්නේ අම්මා නෙවෙයි - අම්මගෙ අනාගත ජීවිතෙත් නෙවෙයි. ඒ කියන්නේ අම්මා දිගටම වැඩ කරනවද, ගමේම ඉන්නවද වගේ දේ වෙන ප්‍රශ්න… මට හිතෙන්නේ නංගිගෙයි මහින්දගෙයි වැඩේට පුළුවන් තරම් සපෝට් එක දීලා, ඊට පස්සේ බලමු අම්මගෙ ප්‍රශ්න දිහා… අනික… අම්මත් ඒවා දකින්නේ ප්‍රශ්න හැටියටද?”
“ඔය අයියා හිතන තරමට ලේසි වෙන්නෙ නෑ කාරණා දෙක වෙන් කරන්ට. අම්මා ඒවා ප්‍රශ්න හැටියට දැක්කත් නැතත් අම්මට තිනියම ගමේ ඉන්ට බෑ… අයියා… ඉස්සර වගේ නෙවෙයි… දැන් ගම් පලාත්වලත් හොර මැරකම් වැඩී”
මම නොහිතූ දේ ගැන මල්ලී හිතලා තියෙනවා; මල්ලිට මට වඩා මේවා තේරෙණවා. නමුත් නංගිගෙ අනාගතේට බාධාවක් වෙනවට මම කොහෙත්ම අකමැතියි.
“අපි නංගිටත් කතා කරලා බලමුද? මේක අපි දෙන්නගෙම ප්‍රශ්නයක් නෙවෙයි නේද චුට්ටී?”
“එහෙනං අපි තුන්දෙනාම ඒක කතා කරලා බලමු… හැබැයි අම්මා ගමේ තනිවෙන විසඳුමකට මම කැමති වෙන්නෙම නෑ!”
“රයිට්! එහෙනං මමත් ඒකට සපෝට්… අම්මා ගමේ තනියම ඉන්නෙ නෑ!”
මම චුට්ටිගෙ කෑම පාර්සලේ කොනකින් ටිකක් කෑවේ යමක් තම්බා ගන්න ඇති කම්මැලිකම නිසයි. පාර්සලේ පරිප්පුයි මැල්ලුමයි එක්ක බත් කටවල් දෙකකුත් පාන් කෑලි දෙකකුත් මට හොඳටම ඇති.
………………………….
අම්මා මහින්ද ගැන පළමු ප්‍රශ්නේ ඇහුවේ සෙනසුරාදා එකොලහට විතර උදේ තේ වෙලාවේ. නංගී එයාගෙ යාළුවගෙ පෙරපාසැලේ උදව්වට ගිහින් හිටිය නිසා මල්ලියි මමයි විතරයි අම්මත් එක්ක තේ බොන්න හිටියේ.
“මොකද ලොක්කා කියන්නේ?”
“ඒක මට අයිති දෙයක් නෙවෙයිනේ අම්මා… මම ඊයේ මහින්ද හම්බ වෙලා එයත් එක්ක කතා කර කර හිටිය බව ඇත්ත. නමුත් අන්තිම කසාද බඳින ජාතියේ තීරණ තියෙන්නේ නංගී අතේ…”
“ඔව්… හැබැයි මම තීරණයක් ගැන නෙවේයි ඇහුවේ… මොකද ඒ දරුවා ගැන හිතුනේ?”
“හොඳ හැදිච්චි මනුස්සයෙක් වගේ. දෙමව්පියෝ විශ්‍රාම ගිය ගුරුවරු. එයත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ… එයා ගැන තොරතුරු නංගිගෙන්ම අහගත්තොත් හොඳයි නේද?”
අපි ඊයෙ රෑ සාකච්ඡා කරපු මාතෘකාව මල්ලී එලියට ගත්තා.
“අයියයි මමයි ඊයෙ රෑ කතා කරපු තව දෙයක් තියෙනවා. අපි හිතුවේ අක්කත් එක්කත් කතා කරලම අම්මගෙන් අහන්ට හැබැයි ම හිතන්නේ ඒ මොකද්ද කියලා කියන එකේ වැරැද්දක් නෑ… අක්කා බැන්ඳොත්… ගමෙන් ඈත තැනක පත්වීමක් ලැබුනොත්… එහෙම වුනොත් අම්මා මොකද්ද කරන්ට අදහස? තනියම ගමේ ඉන්නවට අපි කැමති නෑ”
අම්මා අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවේ අමුතු විදිහට.
“ඒ කියන්නේ මේ මගුල වෙනවා කියලා හොඳටම විස්වාසයි වගේ කතා කරන්නේ”
ඒ සැරේ මමත් කතා කරා, මල්ලිට රුකුලක් දෙන්න.
“මගුල් හෙට සිද්ධවුනත් අවුරුද්දකින් වුනත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් ඕනෑ. චුට්ටිගෙ කතාව හරි. ඈත පලාතකට පත්වීමක් ලැබුනොතුත් එහෙමයි - නංගී මෙහෙ නැත්නම් අම්මා තනියම, අපි දෙන්නට ගෙදර ඉඳන් වැඩට යන්න බැරි නිසා… මං හිතුවේ… මේක තවම චුට්ටී එක්ක වත් මම කතා කරගෙන නෑ… මං හිතුවේ නංගී බැඳපු ගමන්ම අම්මා නුවර එන්න ඕනෑ, මාත් එක්ක ඉන්න - මගෙ ෆ්ලැට් එකටවත්. කොහොමටත් මම ගෙදරක් ගන්නකොට ටිකක් කල් යයි…”
“ළමයි! ළමයි! මේවා අනාගතේට කතා. අපිට දැන් තියෙන්නේ දුවගෙ ජීවිතේ ගැන හිත යොමු කරන්ට… එහෙම නේද?”
ඒකට අපිට උත්තරයක් නෑ. නංගිත් එක්ක කතා කරගන්න තුරු උත්තරයක් ලැබේදයි හිතන්නත් බැ.
……………………
එදා රෑ කෑම වෙලාවේ අපෙ පවුලේ අනාගතේ ගැන වෙන කිසි දාක නැති තරම් තීරණ ගත්තා.
මහින්දගෙ පවුලේ අයට ‘ගෙදර දොර බැලීමට’ ආරාධනය කිරීම එයින් මුල්තැන ගත්තා. ඒ ආරාධනය ‘නිල වශයෙන්’ මගෙනුත් ‘නිල නොලත් ලෙස’ නංගිගෙනුත් ඉදිරිපත් කළ යුතුයයි අම්මා කිව්වා. අම්මගෙ අදහස වුනේ නංගී කොහොමටත් මහින්දට බැහැදැකීම ගැන කිව්වත් චාරිත්‍රානුකූලව දෙමව්පියෝ වෙනුවෙන් පවුලේ වැඩිමලා හැටියට මගෙන් ආරාධනය ආ යුතු බවයි.
“බය වෙන්ට එපා ලොක්කා - මං කියන්නං මොනවද ලියන්ට ඕනෑ කියලා!”
අම්මගෙ වචනෙට අපි හිනාවුනත් මට දැනුනේ ඒක ලොකු ගැලවීමක් හැටියට. අවුරුදු විසි හතක් කිසිම පවුලේ වගකීමක් නැතුව ජීවත්වුන මම ‘ගෙදර දොර බැලීමට’ ආරාධනා යවනවා! මගෙ ජීවිතේ පළමු වරට පවුලේ ‘වැඩිහිටියෙක්’ වගේ මට දැනුනා.
“නංගී මහින්දත් එක්ක දවසක් කතා කරගත්තොත් මම ෆෝමල් ඉන්විටේශන් එක යවන්නං”
මල්ලී එයාගෙ අදහස් ඉදිරිපත් කළේ ප්‍රශ්න වලින් පටන්ගෙන.
“අපිට හිතා ගන්ට පුළුවන් නේද අක්කා කසාදයක් වෙනවාමයි කියලා?”
නංගී හිනාවුනා.
“එහෙම තමයි හිතාගන ඉන්නේ…”
“එතකොට කුරුණෑගලට පත්වීමක් හදාගන්ටද හිතාගෙන ඉන්නේ?”
“ඔවු…”
“රයිට්… එතකොට අපි මේ ගෙදරට මොකද වෙන්නේ කියලා හිතලා බලන්ට ඕනෑ… අයියයි මමයි කතාවුනේ අම්මට තනියම මෙහෙ ඉන්ට බෑ කියලා… අයියා කියනවා අම්මා නුවර ආවොත් ඒ ප්‍රශ්නේ ඉවරයි කියලා… අයියා?”
“චුට්ටිගෙ කතාව ඇත්ත - ගෙදර කෑල්ලක් ගන්නකං අම්මට පුළුවන් මගෙ නවාතැනේ ඉන්න - ඒක තමා ලේසිම…”
අම්මා අත් දෙකම ඉස්සුවේ අපිට නිශ්ෂබ්ද වෙන්න කියනවාගේ.
“මං ගැන තීරණ ගන්ට හදිස්සි වෙන්ට එපා… ඉස්සරවෙලා පොඩි එකීගෙ වැඩේ කම්මුතු කරලා ඉම්මුද?”
ඒ සැරේ නංගිත් කතා කරා.
“හැබෑට අම්මා මෙහෙ තනියම ඉන්ට බෑ… ඒක පැහැදිළියි. නමුත් සමහරවිට ඒකට වෙන උත්තරයක් තියෙන්නත් පුළුවන්, නුවර නොයා… හැබැයි මහින්දත් එක්ක කතා කරලා බලන්ට ඕනෑ…”
අපි සේරටම තේරුණා ඒ කතාවේ තේරුම. නංගී ගෙදර ඉඳන් වැඩට යනවා කුරුණෑගල පත්වීම ලැබුනොත්, අඩුම ගානේ කසාද බඳිනතුරු. ඉන් පස්සේ මහින්ද අපෙ ගෙදර පදිංචියට එනවා. මේ දෙකම විවාහ දිනයට සම්බන්ධයි. ඒ කියන්නේ පළමුවෙනි වැඩේ කසාදයට දිනයක් හදා ගැනීමයි.
මල්ලී ඊලඟ අදහස ගෙනාවේ ඒ වෙලාවේ.
“අර අයියා කියපු ගෙදර වැඩටික කරගත්තොත් නරකද සේරටම ඉස්සර? ටෙලිෆෝන් වැඩේ හරියයි සති කීපෙකින් - මම උන්ට කතා කරලා තියෙන්නේ. අර වතුර/බාත්රූම් වැඩ වලට මිනිස්සු සොයාගන්න අමාරු වෙන්නෙ නෑ - බඩු තමා හොයාගන්න අමාරු… වියදම් මම අයියත් එක්ක කතා කරගන්නං…"